(ප්‍රථමයෙන් පළවූයේ 2025 මාර්තු 12 වෙනිදා දිනමිණ ‘ප්‍රවේශ’ අතිරේකයේය: https://www.dinamina.lk/2025/03/12/ප්රවේශ/172944/කතන්දරයේ-දේශපාලනිකය/?fbclid=IwY2xjawJO3BFleHRuA2FlbQIxMAABHUSoun4HPh4c8urgSvvhrwNfn-X3AYf0cVdiYp9iGfVVA8OEWjyHMAn8-A_aem_cMnh8tDzRjvErdBp3Qk_qA)
අනුෂ්කා කහඳගමගේ
කතන්දර යනු හුදු කාලය ගත කිරීම සඳහා යොදාගන්නා ආකාර පමණක් නොවෙයි. ඒ වෙනුවට කතන්දර යනු පුද්ගලයින්ගේ මතක, අත්දැකීම් සහ යම් කාලයක ඉතිහාසය ලියා තැබූ සහ ලියා තබන ආකාර වෙයි. ඉතිහාසයේ දේශපාලනය පවතින්නේ කතාන්දරය කියන්නා මතය, ඒ කතාන්දරය කියන්නාට කතාන්දරය සමාජගත කිරීමට ඇති අයිතිය, හැකියාව මතය. ඒ අනුව කතන්දර යනු අහිංසක අවකාශ නොව, දේශපාලනිකය ක්‍රියාත්මක වන බලයේ අවකාශ වෙයි.
සත්‍ය බවට පත්වෙන කතන්දර සහ කිසිදා නෑසෙන කතන්දර
සාමාජයක මතක වාර්තාගතකර තැබීමේ විවිධ ක්‍රම ඇත. එනම්, විධිමත්ලෙස ඉතිහාස පොත්වලට ඇතුළත් කිරීමට අමතරව, කටින් කට කියන කතන්දර හරහා සත්‍ය බවට පත්වන මතක, ඒ මතක හරහා උත්කර්ෂයට නැංවෙමින් ගොඩ නැඟෙන ස්මාරක, එම ස්මාරකවල ගල්වි සිටින පුද්ගලයින් සහ සිද්ධි සැමරීමේ උත්සව ආදියයි. මේ සියල්ල එකම සංවාදයක, කතිකාවක ක්‍රියාත්මක වෙමින්, රාජ්‍යයක නිල මතකය නිර්මාණය කරන අතර, එම මතකය පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරයි. රාජ්‍ය විසින් කියන කතන්දර හරහා බොහෝ ජන කොටස් නිල සමාජ මතකයෙන් අතුගා දමයි. එනම්, සංඛ්‍යාත්මක ලෙස සුළුතර ජන කොටස්, කාන්තාවන්, පීඩිත පන්තියේ මිනිසුන්, ආදි වාසීන් වැනි බොහෝ අයගේ කතන්දර රාජ්‍යයේ අධිපතිධාරි කතන්දර විසින් වසාගෙන හෝ මකා දමා ඇත. උදාහරණ ලෙස, උතුරේ යුද්ධයෙන් මියගිය සොයුරන් සැමරීමට ඉඩ නොදීම යනු, ප්‍රජාවක මතකය මකා දැමීමකි. අනාගත දකුණේ දරුවන්ගේ කතන්දර වලට ඒ උතුරේ මිනිසුන් ඇතුළත් නොවනු ඇත. ඒ මිනිසුන්ගේ කතන්දර, රාජ්‍ය විසින් බලහත්කාරයෙන් නිර්මාණය කරනලද කතන්දර විසින් අහෝසිකර ඇත.
අතුරු සහ ප්‍රති-කතන්දර
මේ කතන්දර කීම ගැන ලිවීමේදී, පහුගිය මාසයේ කලඑළිබට රාණී චිත්‍රපටය විසින් සමාජගත කරනලද, මෙතෙක් ජනප්‍රිය ධාරාවේ මතකයට ඇතුළු නොවූ යුගයක දේශපාලන සංකීර්ණතාව පිලිබඳ කතා කිරීම වැදගත්ය. ජනප්‍රිය කතිකාව තුළ ඒ යුගය ගැන බොහෝ විට සටහන් වන්නේ තරුණන් විසින් ඇතිකරන ලද ප්‍රචණ්ඩ කැරැල්ලක් ලෙසිනි. පහුගිය මැතිවරණවල ජනතා විමුක්ති පෙරමුණට එල්ලවූ ප්‍රධානම චෝදනාව වූයේ, එම තරුණ කැරැල්ල සංවිධානය සහ ඒ තුළ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමයි. මෙම මතකය බලයේ සිටි දේශපාලන පක්ෂ විසින් රාජ්‍යයේ නිල මතකය ලෙස පවත්වාගෙන පැමිණ ඇත. එම නිල මතකය තුළ අනෙකුත් පාර්ශවවල කතාන්දර නිහඬකර හෝ නැතහොත් තමුන්ට අවැසි ආකාරයෙන් ඔප මට්ටම්කර ඉදිරිපත් කිරීමට එවකට පැවති ආණ්ඩුව කටයුතු කළේය. විචාරාත්මක ඉතිහාස නොලියවෙන රටක මෙම යුගය සනිටුහන් වන්නේ එක පාර්ශවයක වරද සමාජගත කිරීමට විනා, එම යුගයේ තිබූ සංකීර්ණ සමාජ පසුබිම පිළිබිඹු කිරීමට නොවෙයි. එනම් ඉතිහාසයේ මෙම භයානක පරිච්ඡේදය සම්බන්ධයෙන් එවකට රජය විසින් නිර්මාණය කරන ලද නිල මතකය බොහෝ දුරට ඒකපාර්ශ්වික වන අතර, පාලකයන් උත්කර්ෂයට නංවමින් ඔවුන්ගේ කතන්දරයට නොගැලපෙන කතන්දර ප්‍රවේශමෙන් මකා දමයි.රාජ්‍ය විසින් ස්ථාපිතකර පවත්වාගෙන ආ ඒ මතකය තුළ, ඒ යුගයේ ක්‍රියාකාරී වූ පාර්ශව නිරූපණය කරන ලද්දේ කළු සුදු ලෙස ඉරිගසා වෙන් කළ හැකි යමක් ලෙසයි. එනම්, තරුණ කැරලි කරුවන්ගේ වරද මිස, ඔවුන් ඒ සඳහා තල්ලුකරන ලද සමාජ සාධක, වැරදි අදුරදර්ශී ප්‍රතිපත්ති හෝ ක්‍රියාකාරකම් මෙන්ම රාජ්‍ය ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වූ නීති විරෝධී ආකාරය පිළිබඳ මතකය සම්පුර්ණයෙන්ම පාහේ ඉතිහාසයෙන් කටුගා දමන ලදි. එවැනි තත්ත්වයක් තුළ නැවත නැවත කියවෙන්නේ රාජ්‍ය විසින් නිර්මිත ඒක පාර්ශවික කතාන්දරය මිස, ඒ සමාජයේ සංකීර්ණත්වය නොවෙයි.
එවැනි පසුබිමක් තුළ, පුද්ගල චරිත යම් ආකාරයක ප්‍රබන්ධයකට ඇතුළත් කරන ලද්දේ වුවත්, රාණී චිත්‍රපටය නිර්මාණය කිරීම රාජ්‍ය විසින් නිර්මාණය කරනලද මතකයට වෙනස් ආකාර කතන්දර කීමකි. ඒ අනුව, හඳගම සහ චිත්‍රපටයට විවිධ අයුරින් දායක වූ සියලු දෙනා සිදුකර ඇත්තේ, ඉතිහාස පොත්වට ඇතුළත් නොවූ සහ, රාජ්‍ය විසින් මකා දමනලද තරුණයින්ගේ ඉතිහාසයක් රාජ්‍යය විසින් දැනටමත් කියනලද කතන්දරයට ප්‍රතිවිරුද්ධ ලෙස ස්ථානගත කිරීමයි. එනම්, නිල ආඛ්‍යානය ප්‍රශ්න කරන සහ අභියෝගයට ලක්කරන ප්‍රති-ආඛ්‍යානයක් නිර්මාණය කිරීමයි. රජය විසින් ගොඩනඟන ලද නිල ආඛ්‍යානය සංකීර්ණ කරමින්, චිත්‍රපටය වේදනාකාරී සත්‍යයන් අනාවරණය කරයි. රාජ්‍ය-සැකසූ වර්තාගතකර ඇති සරල කළ අනුවාදයට වඩා ඉතිහාසය බෙහෙවින් සංකීර්ණ බව එයින් හෙළි වේ.
ඒ එසේ තිබියදී, චිත්‍රපටය විසින් මතුකර දක්වන කාන්තා කතාන්දරය, සමාජ පන්තියෙන් ඉහළ කාන්තාවකගේ කතාන්දරයකි. මනෝරාණී, තම පුතා පැහැරගෙන යාමෙන් පසු, මහා රෑ ජාමයේ රජයේ ඇමතිවරයෙකුට දුරකතනයෙන් අමතා පුතා නැවත තමාට ගෙනවිත් දෙන ලෙස ඉල්ලයි. නමුත්, කොළඹ ඉහළ පැලැන්තියේ වෛද්‍යවරියක වූ මනෝරාණිට මෙන් නොව, තම දරුවන් අතුරුදහන් කරනලද දහසකුත් උතුරේ සහ දකුණේ මව්වරුන්ට, රාත්‍රියේ තබා මහා දවල්වත් රාජ්‍ය අමාත්‍යවරයෙකු වෙත ළඟා වීමට, උදව් ඉල්ලා සිටීමට හෝ තම දරුවන් පැහැර ගැනීම පිළිබඳ විනාශකාරී පුවත බෙදා ගැනීමට ක්‍රමයක් නොතිබුණි. ඔවුන්ගේ කතන්දර ඔවුන් සමඟම වැළලී ගියේය. මාලතී ද අල්විස් ඉස්මතු කරන පරිදි, මව්වරුන්ගේ පෙරමුණට සම්බන්ධ බොහෝ කාන්තාවන්ට කිසි විටෙකත් පිරිමින් විසින් පාලනය කරන ලද වේදිකාවට නැගීමට අවස්ථාවක් නොලැබුණි. මනෝරානිට එම වේදිකාවේ විශේෂ අවස්ථාව ලැබුණේ වෛද්‍යවරියක් ලෙස ඇයගේ වෘත්තීය පසුබිම සහ ඇගේ ප්‍රභූ තත්ත්වය නිසා බව ද මාලතී තර්ක කරයි. එනම්, අප ප්‍රති-කතන්දර ලෙස ගෙන එන කතන්දරත් සම්පුර්ණයෙන්ම දේශපාලනයෙන් විනිර්මුක්ත කතන්දර නොවෙයි.
සියල්ලෝ කතන්දර කියන සමාජයක්
ප්‍රජාතන්ත්‍රවාදී සාමාජයක් යනු සියලු දෙනාටම කතන්දර කීමේ හැකියාව ඇති සමාජයකි. එවැනි සමාජයක ධනවතුන්ට, බලවතුන්ට, දේශපාලකයින්ට පමණක් නොව, සියලු පුරවැසියාට කතන්දර කීමේ අයිතියක් සහ හැකියාවක් ඇත, එවැනි කතන්දර සමාජගත කිරීමේ හැකියාවක් ඇත. එම සමාජය තුළ දෙමළ ජාතිකයාගේ කතන්දරත්, ස්ත්‍රියගේ කතන්දරත්, මුස්ලිම් ජාතිකයාගේ කතන්දරත්, සිංහල බෞද්ධ පිරිමියාගේ කතන්දරත් සඳහා ඇත්තේ එක සමාන අවකාශයකි. අප නිර්මානයකළ යුතු වන්නේ ඒ සියලු දෙනාගේ කතන්දර වලට, සමාජ ඉතිහාස මතකයට ඇතුළු වීමේ අවකාශ පවතින ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයකි. අප නිර්මාණය කළ යුත්තේ සියලු දෙනාගේ කතන්දර වලට අවකාශ සහිත සමාජයකි.