Skip links

වැඩබිමේ ආරක්ෂාව, කාන්තා ගැටළු සහ පිරිමි වෘත්තීය සමිති

අනුෂ්කා කහඳගමගේ

(ප්‍රථමයෙන් පළවූයේ 2025 මාර්තු 19 වෙනිදා දිනමිණ ‘ප්‍රවේශ’ අතිරේකයේය: https://www.dinamina.lk/2025/03/19/ප්රවේශ/174850/වැඩබිමේ-ආරක්ෂාව-කාන්තා-ග/)

පහුගිය සතිය ආරම්භ වූයේ අනුරාධපුර රෝහලේ සේවයකළ ගැහැණු වෛද්‍යවරියක් මුහුණ දුන් බරපතල ලිංගික අතවර සම්බන්ධ අවාසනාවන්ත පුවතිනි.

ගැහැණුන්ගේ අනාරක්ෂිත බව පටන්ගන්නේ ඉපදුණු දා සිටය. පොඩි කාලේ ගවුම හදාගෙන වාඩි වෙන්න කියන තැන ඉඳන් ගැහැණු අනාරක්ෂිතය. මොන සමාජ තත්වයක සිටියත්, කුමන ඉගෙනීමක් ලැබුවත් ගැහැණු අනාරක්ෂිතය. රැයක් දහවලක් නැතිව ගැහැණු අනාරක්ෂිතය. ප්‍රගතශීලි යයි කියන පිරිමි අතරත් ගැහැණු අනාරක්ෂිතය. කුමන මතවාද සහිත කඳවුරක සිටියත් ගැහැණු අනාරක්ෂිතය. ඉස් මුදුනේ සිට කකුලේ ඇඟිලි වැහෙනතෙක් ඇන්දත් ගැහැණු අනාරක්ෂිතය. විශාල නිදහසක් ඇති බව කියන බටහිර රටවල වුවත් ගැහැණු තවමත් අනාරක්ෂිතය. තමුන්ගේම ගෙවල් ඇතුළෙත්, තමුන්ගේම පිරිස අතරත් ගැහැණු අනාරක්ෂිතය. ලංකාව වැනි දශක ගණනාවක් තිස්සේ යුද්ධයෙන් පීඩා විඳි රටක, ගැහැනුන් වෙත පැටවෙන පීඩනය තවත් අධික වෙයි. එයට හේතුව වන්නේ පුරුෂත්වය ස්ත්‍රීත්වයෙන් වෙන්වීමට නිරන්තරව උත්සහ දරන අතර, මිලිටරි ආකෘති හරහා ඊට අවශ්‍ය පසුබිම තව තවත් තීව්‍ර වීමයි. එනම් ‘නියම පිරිමියෙක්’ වීමට නම්, මිලිටරි ලක්ෂණ සහිත මිලිටරි පිරිමියෙක් විය යුතුය. මිලිටරි ලක්ෂණ සහිත පිරිමියෙකු වීමට රජයේ හමුදාවකට අයත් පිරිමියෙකු වීම අවශ්‍ය නැත. ඒ වෙනුවට, මිලිටරි පුරුෂත්ව ලක්ෂණ වන, නීත්‍යනුකුල ලෙස බල ගැන්වූ ප්‍රචණ්ඩත්වය, ශරීරය අවධානමට හෙළීම වැනි ලක්ෂණවලට අනුගත වන ඕනෑම පිරිමියෙක් මේ ආකාර මිලිටරි ආකෘතියේ පිරිමියෙක් වන්නේය. තිස් වසරකට ආසන්න යුද්ධය හේතුවෙන්, මෙවැනි මිලිටරි ආකෘති වඩාත් සාමාන්‍ය තත්වයක් ලෙස පෙනී යන අතර, ඒවා නිරන්තරව උත්කර්ෂයට නැංවීම තුළ වඩාත් දැඩි බවට පත්ව ඇත. එවැනි සමාජයක ජීවත්වන ස්ත්‍රියට, එම පීඩාකාරී මිලිටරි පුරුෂත්ව ආකෘතිවල බලයට නතු වීමටත්, මර්දනයට ලක්වීමටත් සිදු වෙයි.

පිරිමි වෘත්තීය සමිති

නැවත වෛද්‍යවරිය මුහුණ දුන් අවාසනාවන්ත තත්වය වෙත හැරුණොත්, එයට විරෝධය දැක්වීමක් ලෙස රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සංඛේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනලදි. එවැනි වර්ජනයක් ක්‍රියාත්මක කිරීමෙන් තම වෘත්තීය සොයුරිය වෙනුවෙන් පෙනී සිටීම අගයකළ යුතුය. නමුත් ප්‍රශ්නය ඇත්තේ එතන නොවෙයි. ප්‍රශ්නය ඇත්තේ යමක් සිදුවූවාට පසු ඒ වෙනුවෙන් ප්‍රතික්‍රියා කරන වෘත්තීය ක්‍රියාමාර්ග නැතහොත් දේශපාලනයේය. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරු දෙදෙනෙක්, උපසභාපතිවරු හතර  දෙනෙක්, උප ලේකම්වරු 06 දෙනෙක්, භාණ්ඩාගාරිකවරයෙක්, සංස්කාරකවරයෙක්, උප සංස්කාරකවරු දෙදෙනෙක් සහ, කාරක සභිකයින් තිස් පහක් සිටිති. ඒ අනුව, මුළු නිලධාරී මණ්ඩලය 51 වන අතර, එක කාරක සභික සාමාජිකයෙකු හැර අනෙක් සියලු දෙනා පිරිමි වෙයි. එනම් නිලධාරී මණ්ඩල සාමාජිකයින් 50 ක් පිරිමිය. එමෙන්ම මුළු වෛද්‍ය ප්‍රජාව තුළ ස්ත්‍රී, පුරුෂ අනුපාතය දළ වශයෙන් සමාන මට්ටමක පවතින අතර, ස්ත්‍රී වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ යමින්, පිරිමි වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව අතික්‍රමණය කරන බවක් පෙනෙයි. මෙවැනි තත්වයක් තුළ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ස්ත්‍රී නොයෝජනයක් නොමැති වීම අතිශය කණගාටුවට කරුණකි. කාන්තා වෛද්‍යවරියන් මෙම තනතරු සඳහා ඉදිරිපත් නොවීම ඔවුන්ගේ වරදක් ලෙස යමෙකුට පැවසිය හැකිය. නමුත්, බොහෝ විට කාන්තාවන් වෘත්තීය සමිති දේශපාලනයේ සහභාගී නොවීමට හේතුව, එම ආවකාශ විසින් ඔවුන්ව පිළි නොගැනීමයි. කාන්තා හඬ යටපත් කිරීම, නොසලකා හැරීම, එම අවකාශ ආරක්‍ෂිත බව කාන්තාවන්ට නොහැඟීම සහ එමෙන්ම දැඩි පුරුෂ නියෝජන විසින් යම් අකාරයකට කාන්තා සහභාගිත්වය අධෛර්යමත් කිරීම කාන්තා සහභාගීත්වය මෙම අවකාශවල දක්නට නොලැබීමට හේතු ලෙස දැක්විය හැකිය.

මෙවැනි තත්වයක් තුළ, කාන්තා වෛද්‍යවරියන් වෘත්තීය තුළ මුහුණ දෙන ගැටළු, අනාරක්ෂිත භාවය හෝ වෙනත් ආකාර ආන්තීකරණ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති දේශපාලනයට ඇතුළු නොවන අතර, ඒවා කිසි දින වෛද්‍ය වෘත්තිකයින්ගේ ගැටළු ලෙස සමාජගත වන්නේ නැත. එනම් අනුරාධපුරයේ වෛද්‍යවරිය මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම, හුදකලා සිද්ධියකට වඩා, රට තුළ  කාන්තා වෛද්‍යවරියන් මුහුණ දෙන ගැටළු ප්‍රවාහයක සහ ඒ ගැටළු ඉහළ බල අධිකාරීන්ට සම්ප්‍රේෂණය නොවීමේ තත්වයක ප්‍රතිඵලයකි. එබැවින්, දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබෙන රජයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සිතා බැලිය යුත්තේ යමක් සිදුවූ පසු ඒ වෙනුවෙන් පෙනී සිටිනවා වැනි යමක් පෙන්වීම වෙනුවට, කාන්තා වෛද්‍යවරියන්ගේ ගැටළු වලට දීර්ඝ කාලීන විසඳුම් ලැබෙන ක්‍රියා පටිපාටිවලට පිවිසෙමින් ඒ පිළිබඳ රජය දැනුවත් කිරීමයි. ඒ වෙනුවෙන් තබනා එක පියවරක් ලෙස, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තුළ කාන්තාවට  සහභාගී වීමේ සහ අදහස් ගැටළු ඉදිරිපත් කිරීමට හැකියාව ඇති අවකාශයක් නිර්මාණය කළයුතුය. පිරිමි වෘත්තිකයින් පමණක් සිටින වෘත්තීය සමිති වෙනුවට කාන්තා හඬ සහිත වෘත්තීය සමිති ඇතිකළ යුතුයි.  දේශපාලනිකය තුළ කාන්තාවට හැසිරිය හැකි අවකාශයක් නිර්මාණය කළයුතුය.

ගැහැණු වෘත්තීය සමිති

එමෙන්ම, කාන්තා වෛද්‍යවරියට තමා වෙනුවෙන් හඬ නැඟීමේ අවස්තාව ලැබී ඇත. එය එසේ වන්නේ ඇයගේ වෘත්තීය තත්ත්වය හේතුවෙනි. ගැහැනුන්ගේ හඬ සමාජ පන්තිය, තරාතිරම හෝ වෘත්තීය මත තීරණය නොවිය යුතුය. වත්තේ තේ දළු කඩන ගැහැණිය ඇයට වඩා බලයෙන් තත්වයෙන් වැඩි අයෙකුගේ අඩත්තේට්ටම් වලට ලක්වීම ඉතාම සරල සාමාන්‍ය දෙයක් ලෙස සමාජය වෙත මතුවීමකින් තොරව වැසී යනවා විය හැකිය. තම රැකියාව රැක ගැනීම උදෙසා ඇය නිහඬ වනවා විය හැකිය. ඇඟලුම් කම්හලක රෑ වැඩ මුරය වැඩ කරන ගැහැනියකට තමුන්ට සිදුවන හිංසන අඩත්තේට්ටම් වලට නිහඬව මුහුණ දෙන්නට සිදුවනවා විය හැකිය.  ගැහැනියක් ලෙස අඩත්තේට්ටම් හෝ හිංසනයට ලක්වුවහොත් එයට කතා කිරීමට ඉහළ වෘත්තික කාන්තාවකට තිබෙන වේදිකාව  මේ රටේ බොහෝ ගැහැනුන්ට නැත. මෙයින් කියන්නේ ඉහළ වෘත්තික කාන්තාවකට එසේ සිදුවීම ගණන් නොගත යුතු බව නොවෙයි. ඒ වෙනුවට, සියලු කාන්තාවන් එක ලෙසම මේ සමාජයේ ක්‍රියාත්මක වන, ආර්ථික දේශපාලන සහ පුරුශාධිපත්යමය ආකෘති අතර හිරවී සිටින බවය. මේ පීඩාකාරී සමාජ, දේශපාලන, ආර්ථික මෙන්ම පුරුශාධිපත්යමය ආකෘති නඩත්තු කිරීමට අප සියලු දෙනා විවිධ මට්ටම් වලින් සහභාගී වන්නෙමු. කළ යුතු වන්නේ මේ පීඩාකාරී ආකෘති හඳුනා ගැනීම සහ ඒවා බිඳීමට හැකි ප්‍රති ආඛ්‍යාන ගොඩ නැඟීමයි. ඒ පීඩාකාරී ආකෘති නැති කිරීම උදෙසා ගැහැණු දේශපාලනයේ සහභාගී වීම අත්‍යවශ්‍යය. දේශපාලනයේ සහභාගිවීම යනු පක්ෂ දේශපාලනය පමණක් නොවෙයි. දේශපාලනයේ සහභාගී වීම යනු තමුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමයි, ඒ වෙනුවෙන් හඬ නැඟීමයි, තමුන්ගේ කතාව සමාජයට හඬගා කීමයි.

This website uses cookies to improve your web experience.