Skip links

විදේශ සේවය වෘත්තීයකරණය කිරීම

සසංක පෙරේරා

(3 නොවැම්බර් 2024)

විදේශ කටයුතු අමාත්‍යාංශය 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල තත්ත්වය පිළිබඳ මම මීට පෙර කිහිප වතාවක්ම ලියා ඇත. ඒ, මේ ක්ෂේත්‍රයට පිටස්තරයෙකු ලෙසය. අවසන් වරට එසේ ලියන ලද්දේ 2020 දී ය. එදා මා මතු කළ සෑම දෙයක්ම පාහේ අද වන තුරු ද බොහෝ දුරට විසඳා නොමැති  බැවින්, මම ඒ පිළිබඳව නැවත වරක් ලිවීමට සිතුවෙමි. කෙසේ නමුත් අපේ මෑත අතීතයට සාපේක්ෂව, ජාතියක් වශයෙන් අපට එක් වරක් හෝ මැනැවින් කල්පනා කර, බුද්ධිමත්ව ක්‍රියා කළ හැකි නම්, වර්තමානය සාපේක්ෂ වශයෙන් බලාපොරොත්තුවේ මොහොතක් ලෙස සිතීමට මම කැමැත්තෙමි. ජාතික ජන බලවේගයේ එක් නායකයෙකු ජනාධිපතිවරණය ආසන්නයේ දී විදේශ සබඳතා හුදු සංචාරක ව්‍යාපාරයට පමණක් ලඝු කිරීමෙන් මා දැඩි ලෙස කම්පාවට පත් වූයේ මෙම සන්දර්භය තුළ ය. මැතිවරණයෙන් පසු තවත් එම පක්ෂයේ නායකයෙකු නව රජයේ විදේශ සබඳතා කිසිදු එක රටකට වාසිදායක නොවන, නමුත් සියලු රටවලට එක හා සමානව සලකන විදේශ ප්‍රතිපත්තියක් වනු ඇතැයි කියමින් මේ අතිශයින් සංකීර්ණ ක්ෂේත්‍රය  අති සරල ලෙස දැක්වීමෙන් මගේ කනස්සල්ල තවත් තීව්‍ර විය.  එමෙන්ම, ජාතික ජන බලවේගයේ ජනාධිපති මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ විදේශ සබඳතා සඳහා ලබා දී ඇති අවධානයේ පැහැදිලි අඩුවක් සහ අත්‍යවශ්‍ය විශේෂඥ ප්‍රත්‍යවේක්ෂණයක් නොමැති බව ද පැහැදිලිය. අපගේ විදේශ සබඳතා පිළිබඳව වඩාත් බැරෑරුම් ලෙස කලපනා කළ යුතු කාලය මෙය නොවේද? නමුත් රටේ විදේශ ප්‍රතිපත්තිය සහ අපගේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ යථාර්ථවාදී තක්සේරුවක් රජයට හෝ මහජනතාවට තිබේද යන ප්‍රශ්නය මෙහිදී මතු වේ.

පසුගිය දශක තුනක කාලය තුළ, විශේෂයෙන් රාජපක්ෂ පාලන සමයේදී, ශ්‍රී ලංකාවේ විදේශ සේවයේ සැලකිය යුතු මට්ටමේ බිඳ වැටීමක් දක්නට ලැබුණි. විදේශ කටයුතු අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යන ඓතිහාසික සෙනේට් ගොඩනැගිල්ලේ අබලන් තත්ත්වය, එහි අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය සහ එම අමාත්‍යාංශයේ සමස්ථ ආයතනික පෞරුෂය පිළිබඳ බෙහෙවින් උචිත සංකේතයකි. විදේශ සේවය හා සම්බන්ධ එක් ප්‍රධාන කරුණක් වන්නේ, ඊට අත්‍යාවශ්‍ය සුදුසුකම්, ප්‍රවීණත්වය හෝ පළපුරුද්ද අවම වශයෙන් හෝ සැලකිල්ලට නොගනිමින්, මුළුමනින්ම දේශපාලන සහ ඥාති සම්බන්ධතා මත පමණක් පදනම් වූ පුද්ගලයන් රංචුවක් විදේශ සේවය ආක්‍රමණය කර තිබීමයි. මෙය තානාපති මට්ටමින් පමණක් නොව, අපගේ විදේශ තානාපති කාර්යාලවල කනිෂ්ඨ මට්ටම් දක්වා ද පැතිරී ඇති යතාවකි. එම කාර්යාලවලට රිංගාගෙන සිටින  දේශපාලන පත්වීම් ලැබූවන්ගේ ලැයිස්තු මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වන අතර ඒවා බෙහෙවින් නිරවද්‍ය බව ද බැලූ බැල්මට පෙනේ. මේ ලැයිස්තු අපගේ විදේශ සේවයේ  වර්තමාන සැබෑ තත්වය කුමක්ද යන්න පෙන්වා දෙන කදිම, නමුත් අතිශයින් කණගාටුදායක උදාහරණයකි.  මේ තත්ත්වය දේශපාලන පත්වීම්ලාභීන් අතලොස්සක් හෝ දැක ගැනීම අපහසු වන ඉන්දියානු විදේශ සේවය හා සැසඳිය හැකිය.  මෙයින් අදහස් කරන්නේ ඉන්දියානු විදේශ සේවය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණයෙන් මිදී ඇති බව නොවේ. නමුත් එය වෙනත් මොහොතක කළ යුතු සාකච්ඡාවකි. ශ්‍රී ලංකා විදේශ සේවය අද පත්ව ඇති කණගාටුදායක තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු අභ්‍යන්තරික විරෝධයකින් තොරව ගැටළුකාරී සහ අතිශයින් පටු ලෙස දේශපාලනීකරණයට ලක්ව තිබීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස එය ඉතා අකාර්යක්ෂම වී ඇති බවත් පැහැදිලිය. මේ තත්ත්වය තවදුරටත් තීව්‍ර කර ඇත්තේ කාලයක් මුළුල්ලේ සිදුකර ඇති වැරදි-සහගත බඳවා ගැනීම් ය. ආයතනික වශයෙන් තමන්ට අති විශාල හානියක් දීර්ඝ කාලීනව සිදුවුව ද, මෙම අඛණ්ඩ විකෘති කිරීම් විදේශ සේවය බොහෝ දුරට නිහඬව පිළිගෙන ඇති අතර, එනිසාම තමන්ගේ ආත්ම ගෞරවය පිළිබඳ දෘශ්‍යමාන හැඟීමක් නැති සහ රටේ අවම ස්වයං-ප්‍රත්‍යවේක්ෂණයක් සහිත රාජ්‍ය ආයතනය බවට පත්ව ඇත.

අප පැහැදිලිවම තේරුම්ගත යුත්තේ, විදේශ සේවය තුළ දේශපාලන පත්වීම් බරපතළ ගැටළුවක් බවට පත්ව ඇති බවයි. හුදු දේශපාලන අනුග්‍රහය මත, කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයන් අපගේ තානාපති කාර්යාලවලට පත් කිරීම නිසා, ගෝලීය මට්ටමින් ගැටළු මතුවන විට රටේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාශීලීව කටයුතු කිරීමේ හැකියාව ඇති නිලධාරීන් ලෝකයේ ප්‍රධාන නගරවල අපගේ තානාපති කාර්යාලවල සිටින්නේ ඉතා සුළු වශයෙනි. තවද, තම මන්දබුද්ධික දේශපාලන ප්‍රධානීන්ට නොබියව උපදෙස් දී ප්‍රතිපත්තිමය වශයෙන් තම ස්ථාවරයේ සිටීමේ හැකියාව ඇති නිලධාරීන් අමාත්‍යාංශයේ සිටීද යන්න ද නොපෙනේ. මෙම තත්ත්වය හුදෙක් තමන්ගේ පුද්ගලික පැවැත්ම සහ රැකියාව ආරක්ෂා කරගැනීම යන කරුණු මත පදනම්ව තිබේ.  ඒ හේතුව නිසාම, විදේශ සේවයේ පුළුල් ආයතනික අවශ්‍යතා සහ නිලධාරීන්ගේ ආත්ම ගෞරවය යන දෙකම මේ වන විට පැහැදිලිවම ඛණ්ඩනය වී ඇත.

තවද, දේශපාලන හෙංචයියන් අපගේ විදේශ තානාපති කාර්යාලවල  ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ යන දෙඅංශයේම තනතුරුවලට පත් කිරීම නිසා සිදු වී ඇත්තේ වෘත්තීය විදේශ සේවා නිලධාරීන්ගේ වෘත්තීය දියුණුව අනිසි ලෙස ප්‍රමාද කිරීමෙන් ඔවුන් පුද්ගලිකව ඉච්ඡාභංගත්වයට පත්ව සිටීමය. උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපද වැනි රටවලට තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් පත්කර ඇත්තේ හුදු දේශපාලන පදනමක් මත පමණි. එම රටවලම අපගේ කොන්සල් ජෙනෙරාල් වරුන් සහ නියෝජ්‍යය මහ කොමසාරිස්වරුන් ඇතැම් විට පත්කර ඇත්තේ ද මෙලෙසින්මය. ඔවුන් කිසිවෙක් හෝ එම රටවල් හා සම්බන්ධ කිසිදු විශේෂඥ දැනුමක් නොමැති පුද්ගලයින්ය. ඇත්ත වශයෙන්ම, මෙම තනතුරු සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෘත්තීය නිලධාරීන් සිටියේම නැද්ද? දිගුකාලීනව මෙමගින් සිදු වන්නේ වෙහෙස මහන්සි වී වැඩ කරන නිලධාරීන්ගේ වෘත්තීය තෘප්තිය විනාශ කිරීම සහ එහි ඍජු ප්‍රතිවිපාකයක් ලෙස සමස්ථ සේවයම ආගාධයට ඇදවැටීමය.

මෙයින් මා අදහස් කරන්නේ, දැනට සේවයේ සිටින සියලුම වෘත්තීය විදේශ සේවා නිලධාරීන් ඔවුන් දරන කේන්ද්‍රීය තනතුරුවලට සුදුස්සන් බව නොවේ. අන් ඕනෑම ආයතනයක මෙන්, මෙහි ද නුසුදුස්සෝ සිටිති.  මේ කරුණු සියල්ල දෙස බැලීමේදී මා මතුකරන මූලික අදහස නම්, නොපමාවම විදේශ සේවය වෘත්තීයකරණය කළ යුතු බවයි. මෙහිදී පැහැදිලිවම දක්ෂ, තමන්ගේ රාජකාරි කටයුතුවලදී ඒවාට නිසි මග පෙන්වීම් කළ හැකි සහ අවශ්‍යය විටදී තීරණාත්මක තීරණ ගැනීමේ හැකියාවක් ඇති බව ඔප්පු කළ නිලධාරීන්ට නියමිත තනතුරු සහ වගකීම් ලබා දීම අත්‍යවශ්‍ය වේ. දේශපාලන හෙන්චයින්ගේ සුරතලුන්ට හෝ බලයේ සිටින්නවුන්ගේ සැම අණකිරීමක්ම  ‘ඔව්’ යයි කියමින් භාරගන්නා දුර්වල නිලධාරීන්ට — ඔවුන් සේවයේ කෙතරම් ජ්‍යෙෂ්ඨ වුව ද —  මෙවන් තනතුරු පිරිනැමීම සිදු නොවිය යුතුය.

විශේෂඥතාව

හුදු කඩදාසි සුදුසුකම්වලින් ඔබ්බට, විදේශ සේවය වෘත්තීයකරණය කිරීමේදී තීරණාත්මක වන්නේ විශේෂඥභාවය සහ පළපුරුද්දයි. නමුත් විදේශ සේවය තම නිලධාරීන්ගේ වෘත්තීය පුහුණුවට අත්‍යාඅවශ්‍ය ආකාරයේ පුහුණුව සහ ඒවාට අදාළ ශිෂ්‍යත්ව ලබා නොදෙන්නේ නම්,  විශේෂඥභාවය සහ පළපුරුද්ද වැනි කේන්ද්‍රීය ගුණාංග එම සේවයට ලබාගත නොහැක.  වෘත්තීය සහ කාර්යක්‍ෂම විදේශ සේවයක් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවත්වා ගෙන යාමට සහ සාර්ථක වීමට නම්, චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපද, ආසියාන් සංවිධානය, යුරෝපා සංගමය වැනි ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් වන රටවල් සහ කලාප පිළිබඳ මනා දැනුමක් ඇති විශේෂඥ කණ්ඩායම් ස්ථාපිත කළ යුතුය. මක්නිසාද යත්, වර්තමානයේ මෙන් අපගේ රට මූල්‍යමය, ආර්ථික හා දේශපාලනික වශයෙන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති අවස්ථාවක තමන් සේවය කරන රට පිළිබඳ මනා දැනුමක් ඇති සහ එම රටවල මැනැවින් සේවය කළ හැකි නිලධාරීන් සිටීම අත්‍යවශ්‍ය වන බැවිනි.  එනම්, මෙම රටවල නිලධාරීන් තීරණ ගන්නා ආකාරය පිළිබඳව දැන සිටීම, ඔවුන්ගේ දේශපාලන පක්ෂග්‍රාහීත්වයන් සහ සංවේදීතාවන් මොනවාද යන්න දැන සිටීම, ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රික ඉතිහාසය පිළිබඳ මනා හැඟීමක් තිබීම සහ එම රටවල ප්‍රධාන නිලධාරීන් සමඟ පුද්ගලික සම්බන්ධතා ගොඩනගා ගැනීම යන කරුණු අතිශයින් වැදගත් වේ. මෙවන් විශේෂඥ දැනුම් හා හැකියාවන් අපගේ නිලධාරීන්ට අනිවාර්යයෙන් බිය යුතුය.

සාමාන්‍යය වශයෙන් ගත් කල, ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන් ජාත්‍යන්තර සබඳතා, ගෝලීය දේශපාලනය, නිරායුධකරණය සහ ආරක්‍ෂක අධ්‍යයන යනාදී ගෝලීය කතිකා පිළිබඳ විධිමත් දැනුමක් නිෂ්පාදනය කිරීමට තම විශේෂඥ දැනුම ඔස්සේ දායක වී නොසිටීම සැබැවින්ම අවාසනාවන්ත තත්ත්වයකි.  එබැවින් විදේශ ලේකම් මට්ටමින් විශ්‍රාම ගිය  නිලධාරීන් අතින් වුව ද තමන්ගේ සුවිශේසී පුහුණුව හා ප්‍රවීණත්වය මත පදනම් වූ පොත්පත් හෝ පර්යේෂණ පත්‍රිකා අතලොස්සකින් එහා නිෂ්පාදනය නොවීම අහම්බයක් නොවේ.  මේ තත්ත්වය  ඉන්දියාව හා සැසඳීමේදී සම්පූර්ණයෙන්ම වෙනස් ය.  කණගාටුවට කරුණ නම්, භාෂා ප්‍රවීණත්ය පවා විදේශ සේවය තුළ ගැටළුවක් වීමය. නිශ්චිත භාෂාවක් සම්බන්ධයෙන් තම ‘ප්‍රවීණත්වය’ ඔප්පු කිරීමට නිලධාරීන් විභාග සමත් වී සිටිය ද, ඔවුන් බොහෝ දෙනෙකුට මෙම භාෂා පිළිබඳ කිසිදු ප්‍රායෝගික කුසලතාවක් නොමැති බව පෙනේ. ඇතැම් අවස්ථාවල දී අපේ රටේ විදේශ සේවය සම්බන්ධයෙන් වැදගත් භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් පවා මේ නිපුණතාව නැති නිලධාරීන් සිටීම බෙහෙවින් කණගාටුදායක කරුණකි. මෙම තත්ත්වය විදේශ සේවයේ සාපේක්ෂ වෘත්තීයමය මට්ටම පහත වැටීමට සැලකිය යුතු මට්ටමකින් බලපෑම් කරයි.

විදේශ සේවය, එහි මුල් බැසගෙන ඇති දේශපාලනීකරණය හා සම්බන්ධ පැහැදිලි ගැටළුවලින් ඔබ්බට ප්‍රවේශමෙන් වෘත්තීයකරණය කළ යුත්තේ මෙම සන්දර්භය තුළ ය. මෙය දිගුකාලීන ව්‍යාපෘතියකි. නමුත් කෙටි කාලීනව දක්‍ෂකම හා හැකියාව පෙන්වා ඇති නිලධාරීන්ට නිසි තැන සහ වගකීම් ලබාදීම අත්‍යවශ්‍ය වේ.

රාජ්‍යතාන්ත්‍රික භාවිතවලට (protocol) සිදුව ඇත්තේ කුමක් ද?

කලක් තිස්සේ, විශේෂයෙන්ම චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපද වැනි බලවත් රටවල තානාපතිවරු හා ඇතැම් විට එවන් රටවලින් මෙරටට පැමිණෙන නිලධාරීන්, රටේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කිරීම සහ ගෝලීයව පිළිගෙන ඇති රාජ්‍යතාන්ත්‍රික භාවිත හා හැසිරීම් පිළිබඳ පිළිගත් සම්මතයන්ගෙන් බැහැරව ක්‍රියා කරන ආකාරය දක්නට ලැබේ. මෙවන් ප්‍රවණතා ඔවුන් රජයේ නිලධාරීන් සහ දේශපාලන නායකයින් සමග ගණුදෙනු කරන ආකාරයෙන් ද  දැකගත හැක. නමුත් මෙම අතිශන් ගැටළුකාරී හැසිරීම් රටා මෙලෙසින් නොනවත්වාම පවතින්නට ඉඩ සලසා දී ඇත්තේ ශ්‍රී ලංකා රජයයි. එහි වගකීම ගත යුත්තේ එහි දේශපාලන නායකයින් හා නිලධාරින්ය. මේ ඊනියා ‘රාජ්‍ය තාන්ත්‍රිකයන්’ බොහෝ විට හැසිරෙන්නේ ඔවුන් අප රටේ පාලනය අයිතිකරගත් අධිරාජ්‍යවාදී පැලැන්තියක් විලසින් බව මෑත අතීතය දෙස මතුපිටින් බැලීමෙන් පවා පෙනී යයි.  මෙවැනි තත්ත්වයක් මතුවන්නේ නිලධාරීන්ට සහ දේශපාලකයින්ට ආත්ම-වටිනාකමක් සහ ජාතික අවශ්‍යතා පිළිබඳ කිසිදු හැඟීමක් නොමැති රටක පමණි. අප වැනි කුඩා රටවල් හුදෙක් කුඩා රටක් වූ පමණින් යටහත් පහත් විය යුතු නැති බව ඔවුන් තේරුම් නොගෙන සිටිම ද අවාසනාවකි. විදේශ සබඳතාවල මෙම අංගය, එනම් කුඩා රටවල් වඩාත් බලවත් රටවල් හා සමග කටයුතු කරන ආකාරය පිළිබඳ  පුළුල් සාහිත්‍ය කතිකාවක ගොඩනැගී ඇති බවක් ඔවුන් දන්නේ නැති බව ද පැහැදිලිය.

ඉහත දක්වා ඇති ගජමිතුරු දේශපාලන ක්‍රමයේ සන්දර්භය තුළ විදේශ සේවය දුර්වල, අදෘශ්‍යමාන සහ නොවැදගත් බවට පත් වී ඇති වටපිටාවක වෘත්තීය ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන් ඇතැම් විට අවශ්‍ය උපදෙස් ලබා දුන්න ද ඒවා සැලකිල්ලට නොගෙන ඉවත දැමීම නිසා, ඉහත විස්තර කර ඇති තත්ත්වය මතු වීමට බලපෑ එක් හේතුවක් විය හැක.  වඩාත් වැදගත් ලෙස, මෙය සිදුව ඇත්තේ මුදලට හා විදේශීය දේශපාලන බලපෑම්වලට යට වූ දේශපාලන නායකයන් දීර්ඝ කාලයක් මුළුල්ලේ මේ රටේ බලයේ රැඳී සිටි තත්ත්වයක් තුළය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ජාතික අවශ්‍යතා බිල්ලට දෙමින් ඔවුන් තමන්ගේ ප්‍රයෝජනය සහ වාසිය සඳහා සාමාන්‍ය ක්‍රියාවලි සහ රාජ්‍යතාන්ත්‍රික භාවිත මග හැර ඇත.  මේ නිසා ඔවුන් තම රටේ අවශ්‍යතා නොසලකා හරිමින්, විදේශීය දේශපාලන නායකයන් හා සමාගම් සමඟ කටයුතු කර ඇත. මෙම කොන්දේසි යටතේ සිදු කරන ලද ගනුදෙනුවලින් ඇතැම් දේ දැන් දේශපාලන ප්‍රශ්න බවට පත්ව ඇත. මීට මෑත කාලීන උදාහරණයක් ලෙස VFS වීසා සිද්ධිය සැලකිය හැක.

ගෝලීය වශයෙන් විදේශ සබඳතා සම්බන්ධයෙන් ස්ථාපිත රාජ්‍යතාන්ත්‍රික භාවිත ශ්‍රී ලංකාව තුළ හිතූ මතේට උල්ලංඝනය කරන බව පැහැදිලිය. විදේශ තානාපති කාර්යාල නියෝජිතයින් දේශීය ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ කටයුතු කිරීමේදී දැනට පවතින නිල රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා පටිපාටිය දැඩි ලෙස අනුගමනය කරන බව‍ට වග බලා ගැනීම වත්මන් රජයේ යුතුකමයි. රැස්වීම් සඳහා ලැබෙන සෑම ඉල්ලීමක් ම විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා යාම අනිවාර්ය විය යුතුය. තවද, මෙම රැස්වීම් සඳහා අමාත්‍යාංශයේ විෂය භාර නිලධාරීන් අනිවාර්යයෙන් සහභාගි විය යුතුය. මෙය පසු විපරම් කිරීම සම්බන්ධයෙන් පමණක් නොව, රජයට එක හඬින් කතා කිරීමට හැකි බව ද සහතික කරනු ඇත. එබැවින්, ඕනෑම රාජ්‍ය ආයතනයකට තානාපති කාර්යාලයකින් හෝ විදේශීය ආයතනයකින් සෘජුවම රැස්වීමක් සඳහා ඉල්ලීමක් ලැබුන හොත්, එම ඉල්ලීම විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා යොමු කිරීම සහතික කිරීම අදාළ දේශීය ආයතනයේ වගකීම විය යුතුය.

අවාසනාවකට මෙන්, වර්තමානය වන විට විදේශ තානාපති කාර්යාලවල කනිෂ්ඨ මට්ටමේ නිලධාරීන්ට පවා ඉහළ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නායකයින් සමග සෘජුවම සම්බන්ධ වීමේ හැකියාව ඇත.  අපගේ විදේශ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රජය සහ රට ද නිතිපතා හෑල්ලුවට ලක්වීම සහ කලාපීය හා ගෝලීය කටයුතුවලදී සාපේක්ෂ වශයෙන් අනදාල තත්ත්වයකට පත්වීම මෙහි ප්‍රතිඵලය වී ඇත. ඉහත සඳහන් කළ රටවල් ද ඇතුළුව ලොව අන් බොහෝ රටවල මෙවැනි ක්‍රියාවන් කිසි ලෙසකින්වත් කළ නොහැක.

දැන් කළ හැක්කේ කුමක් ද?

පැහැදිලිවම මේ තත්ත්වය වෙනස් විය යුතුයි. මේ සම්බන්ධයෙන් ගත යුතු අනිවාර්ය හා මූලික තීරණයක් විය යුත්තේ, විදේශ සේවයෙන් විශ්‍රාම ගිය නිලධාරීන් ද  ඇතුළුව සෑම තරාතිරමකම සිටින සියළුම දේශපාලන පත්වීම් ලැබූවන් අප්‍රමාදව නැවත කැඳවවීම ය.  මෙම මූලික ස්ථාවරයට කිසිදු ව්‍යතිරේකයක් තිබිය නොහැක.

අනාගතය ගැන සිතීමේදී, 2024 නොවැම්බර් 14 න් පසු පත්වෙන රජයට ප්‍රමාණවත් ජනතා සහයෝගයක් ලබා ගත හැකි නම්, තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ දේශීය තනතුරු හා තානාපති කාර්යාලවල කණිෂ්ඨ තනතුරු සඳහා පටු දේශපාලනික පදනම් මත පුද්ගලයින් පත් කිරීම නීතිමය වශයෙන් තහනම් කළ යුතුය. එමන්ම, විදේශ සේවය සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන් පත් කිරීම ද මෙලෙසින්ම නවතා දැමිය යුතුය. සිවිල් පරිපාලනය සහ විදේශ සේවය යනු එකිනෙකට වෙනස් ආයතන දෙකක් වන අතර, හුදෙක් අත්දැකීම් සහ ප්‍රවීණත්වය යන කරුණු සැලකිල්ලට ගැනීමේදී එක් පද්ධතියක නිලධාරීන් අනෙක් පද්ධතියට නොසැලිකිලිමත්ව පත් කළ නොහැක.

වරින් වරට පමණක් සිදු කරන නිත්‍යය නිලධාරීන් බඳවා ගැනීම සහ කාලයත් මුළුල්ලේ සිදුවී ඇති පුහුණුවීම් අඩුවීම ද අමාත්‍යාංශයේ පවතින අන් බරපතළ ගැටළු අතර වේ. නිරන්තර බඳවා ගැනීම් සහ සේවාස්ථ පුහුණුවකින් තොරව වෘත්තීය විදේශ සේවයක් පවත්වාගෙන යා නොහැක. අවශ්‍යතා තක්සේරුවක් මත පදනම්ව වාර්ෂික බඳවා ගැනීම් නිවාර්යයෙන් කළ යුතුය. එනම් විශ්‍රාමිකයින්, කොළඹ සහ තානාපති කාර්යාලවල නිලධාරී තනතුරු ආදිය සැලකිල්ලට ගනිමිනි. නිසැකවම, විදේශ සේවයේ පැවැත්ම රඳා පවතින්නේ නිතිපතා නව නිලධාරීන් බඳවා ගැනීම සහ ඔවුනට තීව්‍ර පුහුණුවක ලබා දීම මත ය. ඉන්දියාව උදාහරණයක් ලෙස ගතහොත්, අලුතින් බඳවා ගන්නා නිලධාරීන්ට කලාපයේ නොයෙකුත් රටවල සංචාරය කිරීමට සැලසීමෙන් සහ අසල්වැසි රටවල සම-නිලධාරී කණ්ඩායම් සමඟ කටයුතු කිරීමට අවකාශ සලසා දීම ද ඇතුළුව ප්‍රවේශමෙන් සකස් කරන ලද සහ පුළුල් පුහුණු වැඩසටහන්වලට අනිවාර්යයෙන් සහභාගී වීමට අවස්තාව ලැබේ. මෙවැනි වැඩසටහන් අප රට තුළත් රටේ අවශ්‍යතාවන්ට සංවේදීව සිදු කළ යුතුයි. භාෂා ප්‍රවීණත්වය අසාර්ථක වීම ද ඇතුළුව රැකියාව යාවත්කාලීන කිරීමට පෙර පිළිගත් අභ්‍යන්තර ඇගයීම්වලින් අසමත් වන නිලධාරීන් සේවයෙන් පිටකිරීමට හැකියාවක් ද තිබිය යුතුය.

මෙම දිගු කාලීන අඩුපාඩු හේතුවෙන්, තානාපති කාර්යාලවල සියලුම ඉහළ තනතුරු සඳහා පත් කිරීමට ප්‍රමාණවත් තරම් වෘත්තීය නිලධාරීන් සංඛ්‍යාවක් නොමැත. කෙසේ වෙතත් මෙයට පිළිතුර හුදු දේශපාලන ගජමිතුරුකම් මත පමණක් විශ්‍රාමිකයින්ගෙන් හෝ හිතමිතුරන්ගෙන් එම පුරප්පාඩු පිරවීම නොවේ. එවැනි අවස්ථාවලදී ඇතැම් තානාපති කාර්යාල සඳහා ප්‍රවේශමෙන් තෝරාගත් දේශපාලන පත්වීම් සිදු කළ හැක. නමුත් එසේ කළ යුත්තේ, ඔවුන්ගේ විශේෂඥතාව සහ ඔවුන් පත්කර හරින රටවල ඔවුන්ට ඇති වෘත්තීය හා දේශපාලනික සම්බන්ධතා ජාලවල ස්වභාවය මත පමණි. එවැනි පත්කිරීම් සඳහා භාවිත කළ හැකි ක්‍රියා පටිපාටියක් දැනට නොමැති අතර, එවැනි  ක්‍රියා පටිපාටියක් අනිවාර්යයෙන් සම්පාදනය කළ යුත්තේ පැහැදිලිව සඳහන් කර ඇති සුදුසුකම් හා රීති සහිත නෛතික පද්ධතියක් තුලින් පමණි.

රට මේ වන විට සිටින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අනාගතය දෙස බලන විට, නව රජය ඉහත දක්වා ඇති කොන්දේසි සහ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කළ යුතුය. නෝවා ෆෙල්ඩ්මන් අපට මතක් කර දී ඇති පරිදි, “දෘෂ්ටිවාදී යුගයක, රාජ්‍ය තාන්ත්‍රිකභාවය දුර්වල හා අවිශිෂ්ට බවක් පෙන්නුම් කළ හැක. නමුත් ඇතැම් අවස්ථාවල අපට ඉතිරිව ඇත්තේ එය පමණයි.” එවැනි යුගයක, අපගේ විදේශ සේවය වෘත්තීයමය හා තීරණාත්මක වීම අත්‍යාවශ්‍යය වනවා මෙන්ම, එමගින් එය රාජ්‍ය තාන්ත්‍රික ලොවේ ගෞරවයට පාත්‍ර විය යුතුය.

This website uses cookies to improve your web experience.